ලෝක ප්‍රකට කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් (Drake), එකිනෙකට වෙනස් ස්ටූඩියෝ ඇල්බම (Studio Albums) තුනක් එකවර බ්‍රිතාන්‍යයේ නිල සංගීත ඇල්බම දර්ශකයේ (UK Official Albums Chart) මුල් ස්ථාන 10 අතරට (Top 10) ඇතුළත් කළ ලොව ප්‍රථම සහ එකම සංගීත ශිල්පියා බවට පත්වෙමින් ඓතිහාසික වාර්තාවක් තබා තිබේ.
පසුගිය මැයි 15 වැනිදා ඩ්‍රේක් විසින් රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටි ඔහුගේ ‘Iceman’ නැමැති ඒකල ඇල්බමය සමඟින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ‘Habibti’ සහ ‘Maid of Honour’ නමින් තවත් සුවිශේෂී ඇල්බම දෙකක් ක්ෂණිකව (Surprise Drop) නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම නවතම ඇල්බම ත්‍රිත්වය, 2024 වසරේදී ඇමරිකානු රැප් ගායක කෙන්ද්‍රික් ලැමාර් (Kendrick Lamar) සමඟ ඇති වූ ද්වන්ධ සටනින් (Beef) පසුව ඩ්‍රේක් විසින් නිකුත් කරන ලද පළමු සංගීත නිර්මාණ එකතුව වීම ද විශේෂත්වයකි.
බ්‍රිතාන්‍ය දර්ශකයේ නවතම වාර්තා
බ්‍රිතාන්‍ය නිල සංගීත ප්‍රස්ථාර සමාගම (Official Charts Company) තහවුරු කරන පරිදි, මෙම ඇල්බම තුනම එකවර සතියේ ඉහළම ඇල්බම 10 අතරට පැමිණ ඇත. එහිදී ‘Iceman’ ඇල්බමය සෘජුවම ප්‍රථම ස්ථානය (No. 1) දිනාගත් අතර, ‘Maid of Honour’ ඇල්බමය 6 වැනි ස්ථානයත්, ‘Habibti’ ඇල්බමය 7 වැනි ස්ථානයත් දිනාගත්තේය. මේ සමඟින් ‘Iceman’ ඩ්‍රේක්ගේ 7 වැනි බ්‍රිතාන්‍යයේ අංක එකේ ඇල්බමය බවට පත් වූ අතර, එය ඔහුගේ සංගීත ජීවිතයේ මුල් ස්ථාන 10 අතරට පැමිණි 17 වැනි ඇල්බමයයි.
ගීත 43කින් සමන්විත මෙම ඇල්බම සඳහා Central Cee, 21 Savage සහ PARTYNEXTDOOR වැනි ප්‍රකට සංගීත ශිල්පීන් රැසක් දායක වී ඇත. ඇල්බම නිකුත් වූ සැණින් Spotify සංගීත මෘදුකාංගය ඔස්සේ මිලියන සංඛ්‍යාත රසිකයන් මේවා ශ්‍රවණය කිරීම නිසා, 2026 වසරේ එකම දිනයක් තුළ ලොව වැඩිම පිරිසක් ශ්‍රවණය කළ (Most-streamed) සංගීත ශිල්පියා සහ ඇල්බමය යන වාර්තා ද්විත්වයම තමන් සතු කරගැනීමට ඩ්‍රේක් සමත් විය.













