ලොව සුප්‍රසිද්ධ ‘රෝයල් ශේක්ස්පියර් සමාගම’ (Royal Shakespeare Company – RSC) විසින් සංවිධානය කරන ලද, ප්‍රවේශ පත්‍ර සියල්ලම අලෙවි වී අවසන්ව තිබූ ‘ද ටෙම්පස්ට්’ (The Tempest) නාට්‍ය දර්ශනය සඳහා බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් මහ රජු (King Charles III) කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව (Surprise Guest) සහභාගී වෙමින් එහි සිටි ප්‍රේක්ෂකයන් මහත් පුදුමයට පත් කර තිබේ.
වෝවික්ෂයර් (Warwickshire) හි පිහිටි ස්ට්‍රැට්ෆර්ඩ්-අපොන්-ඒවන් (Stratford-upon-Avon) හි පිහිටි රෝයල් ශේක්ස්පියර් රඟහල වෙත රජු පැමිණි අවස්ථාවේදී එහි රැස්ව සිටි අතිවිශාල ජනකාය ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුව ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ. අනතුරුව රජු ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය ශාලාවේ සිය අසුන වෙත ගොස් නාට්‍යය නරඹන ලදී.
පසුබිම් මණ්ඩපයේ සංචාරය සහ රාජකීය ප්‍රතිචාර
නාට්‍යය නැරඹීමට පෙර රඟහලේ පසුබිම් මණ්ඩපය (Backstage) වෙත ගිය චාල්ස් රජු, එහි තිබූ නාට්‍ය ඇඳුම් නිර්මාණ අංශය (Costume Department) නිරීක්ෂණය කළේය. එහිදී නාට්‍ය සඳහා භාවිත කරන ඇඳුම් කට්ටල “ඉතා විශිෂ්ට” (Brilliant) බව පැවසූ රජු, එහි තිබූ ව්‍යාජ රාජකීය ඔටුන්නක් (Replica Crown) දෙස බලා නාට්‍ය ශිල්පීන් සමඟ සිනාසෙමින් සුහද කතාබහක නිරත වන අයුරු ද දක්නට ලැබුණි.
මෙම නාට්‍යය ප්‍රකට සිනමා සහ නාට්‍ය අධ්‍යක්ෂ ශ්‍රීමත් රිචඩ් එයාර් (Sir Richard Eyre) විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, එහි ප්‍රධාන ‘ප්‍රොස්පරෝ’ (Prospero) චරිතය නිරූපණය කරනු ලබන්නේ සුප්‍රසිද්ධ රංගන ශිල්පී ශ්‍රීමත් කෙනත් බ්‍රැනා (Sir Kenneth Branagh) විසිනි. රෝයල් ශේක්ස්පියර් සමාගමේ සම-කලා අධ්‍යක්ෂවරුන් වන ඩැනියෙල් එවන්ස් සහ තමාරා හාර්වි ප්‍රකාශ කළේ රජුගේ මෙම හදිසි පැමිණීම තමන්ට ලැබුණු අතිමහත් ගෞරවයක් (Tremendous Honour) බවයි.














