වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය නිවැරදි සැලැස්ම තම පක්ෂය සතුව පවතින බවත්, අවස්ථාව උදාවුවහොත් “අද දුන්නොත් අදම” රටේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ පැවති විශේෂ රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය අතර පවතින විනිමය අනුපාතයේ අස්ථාවරත්වයට ගල්ෆ් කලාපයේ ගැටුම් පමණක් නොව, දිගුකාලීන උපායමාර්ගික වැඩපිළිවෙළක නොමැතිකම සහ ආර්ථික කළමනාකරණයේ අසාර්ථකත්වය ප්‍රධාන හේතුව බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. රටේ පවතින ප්‍රධානතම ගැටලුව ඩොලර් හිඟයට වඩා ජාතික නායකත්වය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යාම බව ඔහු අවධාරණය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පවතින නායකත්වයේ දුර්වලතා වත්මන් අර්බුදයට එක් හේතුවක් බව පැවසූ ජයවීර මහතා, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මහජනතාව සමඟ අවංක සහ සත්‍යවාදී සංවාදයක් ඇති කරමින් විශ්වාසය ගොඩනැගීම පළමු පියවර විය යුතු බව පැවසුවා. තම පක්ෂය වූ “සර්වජන බලය” සාම්ප්‍රදායික දේශපාලන නායකත්ව ආකෘතියකට වඩා කණ්ඩායම් සහ ප්‍රතිපත්ති මූලික කරගත් පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවත්, තරුණ පරපුර දේශපාලන සටන් පාඨවලට වඩා තාර්කික පැහැදිලි කිරීම් සහ ප්‍රායෝගික සැලසුම් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
















