ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයකට අනුව, 2026 මැයි 25 වන දින සිට රටවල් 40ක ජාතිකයන් සඳහා නොමිලේ සංචාරක වීසා ලබා දීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. ආගමන විගමන පාලක ජනරාල් අයි. චමින්ද පතිරාජ මහතාගේ අත්සනින් නිකුත් වූ මෙම චක්‍රලේඛයට අනුව, 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ සුදුසුකම් ලබන විදේශීය ජාතිකයින්ට දින 30ක කාලයක් සඳහා වලංගු වන පරිදි, දෙවරක් රටට ඇතුළු විය හැකි (double-entry) නොමිලේ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගත හැකි වේ. මෙම පහසුකම හිමි වන රටවල් 40 නම්: ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලාරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේටය, මැලේසියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, පෝලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වේ.
මීට අමතරව, මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු ජාතිකයින් සඳහා දැනට පවතින පරිදි නොමිලේ ETA සැකසුම් පහසුකම අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ආවරණය වන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් හැර, අනෙකුත් සියලුම විදේශ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ETA අනුමැතිය ලබා ගත යුතුය. මුල් දින 30 ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන අයෙකුට නියමිත ගාස්තු ගෙවීමෙන් පසු වීසා දීර්ඝ කිරීම සඳහා අයදුම් කළ හැකි වේ. මෙම සංශෝධිත රෙගුලාසි 2026 මැයි 25 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරෙන අතර, අදාළ අයදුම්පත් eta.gov.lk
වෙබ් අඩවිය හරහා මාර්ගගතව (online) ඉදිරිපත් කළ හැකිය.
















