ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මාලිගාවත්ත ප්‍රදේශයේ දේපළක්, රජයේ නිසි තක්සේරුවට වඩා අතිශය අඩු මුදලකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන ‘කාල්ටන්’ පෙර පාසලට ලබා දීමෙන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබෙනවා.
මෙම දේපළ සඳහා රජයේ තක්සේරුවට අනුව මාසික කුලිය රුපියල් 177,000ක් විය යුතු වුවද, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත එය මාසිකව රුපියල් 30,000ක අඩු මුදලකට ලබා දී ඇත. මෙය සුභසාධන ආයතනයක් ලෙස සලකා සහනයක් ලබා දුන් බව නිලධාරීන් පැවසුව ද, ඒ සඳහා කිසිදු විගණනය කළ වාර්තාවක් නොමැති බව කමිටුවේදී විවේචනයට ලක් විය. තවද, බදු ගිවිසුමට අදාළ කොටසට අමතරව තවත් ඉඩම් කොටස් දෙකක් අවසරයකින් තොරව භුක්ති විඳීම සහ රජයේ ගොඩනැගිලි අවසරයකින් තොරව වෙනස් කිරීම හේතුවෙන් රජයට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 54කට අධික බව හෙළි විය.
මීට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත 2002 වර්ෂයේදී ලබා දුන් රුපියල් ලක්ෂ 45ක වටිනා නිවසක් සඳහා මෙතෙක් කිසිදු ගෙවීමක් කර නොමැති බවත්, ඊට අදාළ ප්‍රධාන ලිපිගොනුව අතුරුදන් වී ඇති බවත් අනාවරණය විය. අදාළ ලිපිගොනුව නිලධාරියෙකු විසින් ඉවත් කර ඇති බවට සටහන් පවතී. මෙම නිවස වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක් වූ ස්ථානයක් බවද වාර්තා වේ.
රජයේ දේපළ දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමට සහ අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ කෝප් කමිටු සභාපතිවරයා, මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා සතියක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට නියෝග කළා.














