ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බදාදා (27) පස්වරු 2ට තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාවෙන් මැයි 27 සිට ජුනි 1 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණ ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය පැවැත්වේ.
මෙම මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මාතර ඓතිහාසික කොටු පවුර ආශ්‍රිතව පැවැත්වෙන ප්‍රතිපත්ති පූජා කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ධර්ම දේශනා, කවි බණ සහ ශීල භාවනා වැඩසටහන් ඇතුළත් වන අතර, මාතර නගරය සහ වෙරළ උද්‍යානය කේන්ද්‍ර කරගත් ආමිස පූජා කලාපය තුළ තොරණ, පහන් කූඩු තරඟ, භක්ති ගීත ප්‍රසංග සහ සාම්ප්‍රදායික රූකඩ සංදර්ශන ඇතුළු සංස්කෘතිකාංග රැසක් දැකගත හැකිය. එසේම ඒ.අයි (AI) තාක්ෂණය සහ එල්.ඊ.ඩී (LED) තිර භාවිතයෙන් නවීන තාක්ෂණික සංදර්ශන මගින් ජාතක කථා ප්‍රදර්ශනය කිරීම ද මෙවර විශේෂත්වයකි. මැයි 30 වෙසක් පොහෝ දින ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ජූනි 1 දින උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරේ.














