රක්ෂණ කාඩ්පත ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ, මින් ඉදිරියට වාහන සඳහා භෞතික රක්ෂණ කාඩ්පත් නිකුත් නොකරන බවත්, ඒ වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනූෂ තිලංක මහතා අද (25) ප්‍රකාශ කළේය. මෙම නව ක්‍රමවේදය හරහා ජංගම දුරකථනය, වෙබ් අඩවිය හෝ QR කේතය මගින් ඕනෑම අවස්ථාවක රක්ෂණ සහතිකය සත්‍යාපනය කර ගැනීමේ හැකියාව පවතී.
මේ සඳහා හඳුන්වා දී ඇති 1338 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ක්‍රම තුනකින් රක්ෂණ සහතිකය සත්‍යාපනය කරගත හැකිය. USSD තාක්ෂණය හරහා *1338# ඇමතීමෙන් ලැබෙන මෙනුව මගින් වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කර තත්පර කිහිපයක් තුළ රක්ෂණ වලංගු භාවය පරීක්ෂා කළ හැකිය. SMS සේවාව මගින් 1338 අංකයට ඔබේ වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය කෙටි පණිවිඩයක් ලෙස යොමු කිරීමෙන් එම තොරතුරු ලබාගත හැකිය. හඬ පට සේවාව හරහා 1338 අංකයට ඇමතුමක් ලබා දී අදාළ රක්ෂණ ආයතනය තෝරා ගැනීමෙන් කෙළින්ම එම ආයතනයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ වී රක්ෂණ තොරතුරු තහවුරු කරගත හැකිය.
මෙම 1338 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම සතියේ දින 7ම ක්‍රියාත්මක වන අතර, රක්ෂණය සම්බන්ධ සියලුම ලියකියවිලි ඉදිරියේදී මෙලෙස ඩිජිටල්කරණය කිරීමට නියමිත බව ද බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.














