පිලිපීනයේ ඇන්ජලස් නගරයේ ඉදිකරමින් පැවති නව මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් අද (25) තහවුරු කළේය. සුන්බුන් අතර තවමත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව පවතින අතර, ඔවුන් බොහෝ දෙනෙකු ඉදිකිරීම් කම්කරුවන් බවට සැක කෙරේ. මුදාගැනීමේ කණ්ඩායම් රාත්‍රී කාලයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී සුන්බුන් යට ජීවයේ සලකුණු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මුදාගත් පුද්ගලයින් දෙදෙනෙකු පසුව මියගොස් ඇති අතර, එක් අයෙකු සුන්බුන් අතර සිටියදීම හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙහෙයුම් මන්දගාමී වීම සහ තොරතුරු නොමැතිකම සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සිය අප්‍රසාදය පළ කරති.














