රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා සමාජීය අභියෝග පිළිබඳව ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම යථාර්ථවාදී සහ සත්‍යවාදී අවබෝධයකින් කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කරුණු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසා ජනතාව බොහෝ විට මුළාවට පත්වන බවත්, සිදුවන දේ ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම දේශපාලනික රැවටීම්වලින් බේරීමට ඇති හොඳම මග බවත් ඒ මහතා අවධාරණය කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගපොල, කොට්ටිඹුල්වල රජමහා විහාරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෙම අභියෝග නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අවසානයේ දුකට පත් වන්නේ රටේ අසරණ බහුතරය බවයි. උද්ධමනය, විදේශ සංචිත පහළ යාම, ඉන්ධන හා විදුලි බිල ඉහළ යාම මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝග බව ඔහු සිහිපත් කළේය.
මෙම අභියෝග සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ. මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, මෙරට විදේශ ප්‍රේෂණ ආදායම දැඩි ලෙස අඩුවිය හැකි බව ඔහු පැවසීය. ප්‍රමාණවත් විදේශ සංචිත නොමැතිකම සහ ආනයන වියදම් පාලනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. ඉන්ධන මිල ඉහළ යාම රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන අතර, රටේ දුප්පත්කම 30%-40% දක්වා ඉහළ යාම නිසා නිෂ්පාදන ධාරිතාව අඩපණ වී සංවර්ධන ඉලක්ක කරා යාම දුෂ්කර වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. තවද අපනයන සහ සෘජු විදේශ ආයෝජන මට්ටම පහළ මට්ටමක පැවතීම සහ ගොවීන්ට ගුණාත්මක පොහොර නොලැබීම වැනි ක්ෂේත්‍ර පිළිබඳව ද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙවැනි අභියෝග හමුවේ දේශපාලන බෙදීම් පසෙකලා, රටේ අනාගතය සහ දරුවන්ගේ පෝෂණ, සෞඛ්‍ය හා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා සියලුදෙනා එකමුතුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.














