ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛනවලට සම්බන්ධ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවශ්‍ය බවයි. සාක්ෂි ආඥා පනත යටතේ එවැනි ප්‍රවේශයක් තමන්ට මෙතෙක් ලබා දී නොමැති බැවින් නඩු විභාගය ඉදිරියට ගෙන යාමේ ගැටලුවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂි ලෙස යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව ලබා දෙන්නේද යන්න පිළිබඳව සිය ස්ථාවරය මීළඟ දිනයේ දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ අනුව, මෙම නඩුව යළි ජූලි 24 වැනිදා කැඳවීමට නියමිතය.














