පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ කල්තියා දැනුම්දීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.
මට්ටම 2 හෙවත් අවධානයෙන් සිටින්න (Amber) නිවේදනය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම, ඇහැලියගොඩ යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුය.
මට්ටම 1 හෙවත් විමසිලිමත් වන්න (Yellow) නිවේදනය කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇත. මෙම ප්‍රදේශවල ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත් විය යුතුය.
පොළොවේ ඇති වන පැලුම්, ගස් හා විදුලි කණු ඇලවීම්, හදිසියේ උල්පත් මතුවීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්න. අනතුරු ඇඟවූ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටින ලෙස NBRO වැඩිදුරටත් දැනුම් දෙයි.













