ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම අපේක්ෂාව වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ නැංවීම බවත්, එමඟින් අනවශ්‍ය ලෙස වාණිජ ණය ලබා ගැනීම සීමා කර වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඉල්ලුම පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. අද (26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී විශේෂයෙන්ම අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, 2022 වසරේදී පැවති දැඩි ආර්ථික සංකෝචනය (Economic Contraction) මෙන් නොව, වත්මන් ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතින බැවින් මෙම පොලී අනුපාත සංශෝධනයෙන් ආර්ථිකයේ කිසිදු හැකිලීමක් සිදු නොවන බවයි. 2023 වසරේ මැද භාගයේ සිට මේ දක්වා මෙරට ආර්ථිකය 4% සිට 5% දක්වා ධනාත්මක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, ඉදිරි කාර්තු දෙක තුළදී ද එම ආර්ථික වර්ධනය අඛණ්ඩව ඉහළටම ගමන් කරනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
මේ අතර, වාහන ආනයනය සහ මිලදී ගැනීම් සඳහා ලබාදෙන ණය (Vehicle Leases/Loans) සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා වැදගත් අනාවරණයන් කිහිපයක් සිදු කළේය. නව බදු සංශෝධන හේතුවෙන් වෙළෙඳපොළ තුළ කෘතිමව වාහන මිල ගණන් ඉහළ යා හැකි බව පෙන්වා දුන් ඒ මහතා, ඒ හරහා පාරිභෝගිකයින් අධික ලෙස ණය ලබා ගැනීමට පෙළඹීමෙන් ඔවුන් මෙන්ම ණය ලබා දෙන බැංකු පද්ධතිය ද දැඩි අවදානමකට ලක්විය හැකි බව ප්‍රකාශ කළේය. එම මූල්‍ය අවදානම කල්තියා වළක්වා ගැනීම වෙනුවෙන් වාහන ණය සඳහා මෙතෙක් පැවති 50%ක උපරිම සීමාව (Loan to Value Ratio) 40%ක් දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇති බව ද වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















