ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි 25 වන දින නිකුත් කරන ලද කෙටි ප්‍රතිචාර නිවේදනයට දැඩි විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් කරුණු 15 කින් යුත් සවිස්තරාත්මක දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. මහ බැංකුව විසින් නිරන්තරයෙන් නිකුත් කරන ‘රැවටෙන්න එපා’ ප්‍රකාශ හරහා රටේ පවතින සැබෑ මූල්‍ය අර්බුදය සහ භාණ්ඩාගාර මංකොල්ලය වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන ඒ මහතා, මීට පෙර 2015 බැඳුම්කර වංචාව, මුදල් අච්චු ගැසීම සහ 2022 රට බංකොලොත් වීම පිළිබඳව තමන් කළ අනාවරණයන් ඉතිහාසය විසින් සනාථ කර ඇති බව පෙන්වා දෙයි.
මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙන්නේ 2025 ජනවාරි මස රුපියල් බිලියන 14,439.1 ක් වූ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රුපියල් බිලියන 16,585.7 දක්වා රුපියල් ට්‍රිලියන 2.1 කින් ඉහළ ගොස් ඇති අතර, වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීමට රුපියල් නෝට්ටු භාවිත කිරීම හරහා වක්‍රව මුදල් අච්චු ගැසීමක් සිදුවන බවයි. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුවේදී ඩොලරයට රුපියල් 330 ක නිල නොවන පාලන මිලක් පවත්වා ගැනීමට මහ බැංකු අධිපතිවරයා වාණිජ බැංකුවලට උපදෙස් දී ඇති බවත්, අපේක්ෂා කළ පරිදි පොලී අනුපාත 8.75% දක්වා ඉහළ දමා ඇති බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීම හැර රජයට වෙනත් විකල්පයක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ. මීට අමතරව මහ බැංකු අධීක්ෂණය යටතේ පවතින වාණිජ බැංකු කිහිපයක සිදුව ඇති මූල්‍ය වංචා, පිරමිඩ ජාවාරම් සහ විදේශ සංචිත එකතැන පල්වීම පිළිබඳව මහ බැංකුව සෘජු පිළිතුරු සැපයීමෙන් මඟහැර සිටින බවට ද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියි.














