ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) සිය සේවක මණ්ඩලයේ වෘත්තීය අභිවෘද්ධිය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තබමින් ප්‍රථම වරට නිල උසස්වීම් විභාග ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම නව ක්‍රමවේදය හරහා ආයතනයේ සේවක සේවිකාවන් 1,000කට අධික පිරිසකට තමන් දැනට සේවය කරන වැටුප් කාණ්ඩ තුළ ඉහළ ශ්‍රේණි උසස්වීම් (Grade Promotions) ලබාගැනීමේ කඩිනම් සහ විනිවිදභාවයකින් යුත් අවස්ථා උදාවනු ඇත.
මෙම විශේෂ උසස්වීම් විභාගය මඟින් ආයතනයේ වඩාත්ම බහුතරයක් වන ප්‍රාථමික ශ්‍රේණිවල (Primary Level) සේවකයන්ගේ සිට ඉහළ කළමනාකරණ HM 1-3 වැටුප් පරිමාණයන් (Higher Management) දක්වා වන සියලුම මට්ටම්වල සේවකයන්ට සෘජු ප්‍රතිලාභ සැලසේ. දැනට එකම තනතුරේ වසර ගණනාවක් පල්වෙමින් සිටි දක්ෂ සහ පළපුරුදු සේවකයන්ට තමන් දැනට දරන තනතුරු තුළම රාජ්‍ය සේවා ව්‍යුහයට අනුකූලව ඉදිරි වෘත්තීය ගමනක් යාමට මෙමඟින් මඟ පෑදේ.
ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම සේවක සුබසාධනය සහ වෘත්තීය තෘප්තිය උපරිම කිරීම අරමුණු කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙම විභාග පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇත.














