පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල විසින් සිය රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට සාර්ථකව ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කර තිබේ. කොළඹ පිහිටි ජාතික රෝහල් පද්ධතියෙන් බැහැරව, මෙරට පර්යන්ත රෝහලක සිදු කළ ප්‍රථම ළමා වකුගඩු බද්ධ කිරීම මෙය වීම සුවිශේෂී කරුණකි.
සැත්කමට භාජනය වූයේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පිරිමි දරුවෙකි. එම දරුවාට තම පියා විසින් වකුගඩුව පරිත්‍යාග කර ඇති අතර, මේ වන විට දරුවා සහ පියා යන දෙදෙනාම පූර්ණ සුවය ලබා සිටින බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තහවුරු කරයි. මෙම සංකීර්ණ ශල්‍යකර්මය සඳහා ළමා වකුගඩු විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර, සනාල හා වාහිනී බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් දායක විය.
ළමා වකුගඩු රෝගීන් සඳහා ඉතා අධික පිරිවැයක් දරමින් විදේශ රටවලට යාමට සිදුවන තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහලක් තුළ මෙම සැත්කම නොමිලේ සිදු කිරීම දරුවාගේ පවුලට ලැබුණු විශාල සහනයකි. 2021 වසරේ ආරම්භ වූ මෙම රෝහල, ඉදිරියේදී සමස්ත ශ්‍රී ලාංකේය දරුවන්ගේ අවශ්‍යතා පරිදි අඛණ්ඩව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට සූදානම් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය. වකුගඩු ආශ්‍රිත ගැටලු සහිත දරුවන් සිටින ඕනෑම මව්පියෙකුට කිසිදු බියකින් තොරව තම රෝහල වෙත පැමිණ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගත හැකි බවද ඇය අවධාරණය කළාය.














