වර්ෂා කාලයත් සමඟ එළඹෙන වෙසක් සමයේ පවතින ජනතාව බහුලව ගැවසෙන උත්සව සහ දන්සල් ආශ්‍රිතව මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අනතුරු අඟවයි. මේ වන විට පාසල් ළමුන් අතර ද මෙම රෝගයේ ව්‍යාප්තියක් නිරීක්ෂණය වන අතර තත්ත්වය පාලනය සඳහා වසංගත රෝග විද්‍යායතනය මඟින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.
දැනට දියතලාව, වැලිමඩ, රිකිල්ලගස්කඩ සහ දෙනියාය යන ප්‍රදේශවලින් මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වී ඇති අතර, දෙනියාය ප්‍රදේශයේ පාසල් දින කිහිපයකට වසා තැබීමට ද පියවර ගැනුණි. කෙසේ වෙතත්, රෝගය වැළඳුණු කිසිදු අයෙකු බරපතළ තත්ත්වයට පත්ව නොමැති අතර දින 7ක් ඇතුළත ඔවුන් සුවය ලබා ඇති බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
මොළය සහ සුසුම්නාව වටා ඇති ආරක්ෂිත පටල ආසාදනය වීමෙන් හටගන්නා මෙම රෝගය බැක්ටීරියා, වෛරස් හෝ දිලීර මඟින් බෝ විය හැකිය. ආහාර, ජලය, ස්පර්ශය සහ කැස්ස හෝ කිවිසුම් බිඳිති මඟින් ශ්වසන ස්‍රාවයන් හරහා රෝගය පැතිර යයි. හදිසියේ ඇති වන අධික උණ, දරුණු හිසරදය, බෙල්ලේ වේදනාව, වමනය සහ ආලෝකය දෙස බැලීමේ අපහසුව මෙහි මූලික ලක්ෂණ වන අතර ළදරුවන් තුළ නොනවත්වා හැඬීම සහ කෑම ප්‍රතික්ෂේප කිරීම දැකිය හැකිය. අවුරුද්දට අඩු බිළිඳුන්, වයස 16-23 අතර තරුණයන් සහ වයස 65ට වැඩි පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී.
නිසි ප්‍රතිකාර නොගතහොත් ස්ථිර ස්නායු හානි, ශ්‍රවණාබාධ, මතක ශක්තිය හීන වීම සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි බරපතළ සංකූලතා ඇති විය හැකි බැවින් සනීපාරක්ෂාව පිළිබඳ දැඩිව සැලකිලිමත් විය යුතුය. ඒ අනුව කෑමට පෙර හොඳින් අත් සේදීම, බීම වීදුරු සහ පිඟන් කෝප්ප වැනි පෞද්ගලික භාණ්ඩ හුවමාරු කර නොගැනීම සහ පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.













