වත්මන් ඉබෝලා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ඉටුරි (Ituri) පළාතේ හමුදා ආණ්ඩුකාරවරයා, වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරගලය “යුද්ධයකට” සමාන කරමින් තමන් සතුව ඊට සටන් කිරීමට ප්‍රමාණවත් සම්පත් නොමැති බවට අනාවරණය කරයි. ඉටුරි පළාත දැවැන්ත මානුෂීය ව්‍යසනයකට ඇද වැටීම වැළැක්වීම සඳහා කාර්ය මණ්ඩල ධාරිතාව ශක්තිමත් කරමින් කඩිනම් ජාත්‍යන්තර ප්‍රතිචාරයක් දක්වන ලෙස ඔහු ඉල්ලා සිටී.
පසුගිය මැයි 15 වැනිදා වසංගතය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා කොංගෝවෙන් ඉබෝලා වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 900කට වැඩි පිරිසක් සහ සැක සහිත මරණ 220ක් වාර්තා වී ඇත. බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ආහාර නොලැබීම, අධික ජනගහන තදබදය සහ වෙනත් රෝග ව්‍යාප්ත වීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් බරපතළ වී තිබේ. දැනට කොංගෝවේ උතුරු සහ දකුණු කිවු පළාත්වලින් මෙන්ම අසල්වැසි උගන්ඩාවෙන් ද (තහවුරු වූ රෝගීන් 7ක්) ඉබෝලා ආසාදිතයන් හඳුනාගෙන ඇත.
මේ අතර, ඊයේ (25) කොංගෝවේ සංචාරයකට එක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ප්‍රකාශ කළේ, වෛරසය මර්දනය කිරීමට ගන්නා හදිසි උත්සාහයන් අභිබවා යමින් ඉබෝලා වේගයෙන් පැතිර යන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විටත් මෙය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, වසංගතය පාලනය සඳහා සුදුසුකම් ලත් සෞඛ්‍ය පිරිස් සහ ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කළ යුතු බව කොංගෝ බලධාරීන් අවධාරණය කරයි.
















