නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය (කරදිය බාධකය) හේතුවෙන් අඛණ්ඩව වගා හානි සිදු වූ මාතර දිස්ත්රික්කයේ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම හෙට, එනම් මැයි 27 වැනිදා ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මාතර ප්රදේශයේ පානීය ජලයට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා 2019 වසරේදී ජල සම්පාදන මණ්ඩලය විසින් මෙම බාධකය ඉදිකළ අතර, ඉන්පසු ඇති වූ ජලගැලීම් නිසා මඩිහගොඩගම, කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ සහ මැදඋයන්ගොඩ ඇතුළු ප්රදේශ රැසක වගාබිම් පාලු විය. ගොවි සංවිධානවල අඛණ්ඩ ඉල්ලීම් සලකා බලා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුක්රමික වගා කන්න 07ක් සඳහා මෙලෙස වන්දි මුදල් නිදහස් කෙරේ.
මේ වෙනුවෙන් 2026 ජාතික අයවැය මඟින් රජය රුපියල් මිලියන 1,200ක ප්රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් ගොවීන් 5,000කට වන්දි හිමි වන අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් හෙට (27) මාලිම්බඩ ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් තෝරාගත් ගොවීන් 250 දෙනෙකුට සංකේතාත්මකව වන්දි පිරිනැමේ. සෙසු සියලු ගොවීන්ට ඉදිරි දින 14 ඇතුළත වන්දි මුදල් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.
















