මැදපෙරදිග කලාපයේ හටගත් දැඩි යුදමය වාතාවරණයත් සමඟ ඉරාන රජය විසින් රට තුළ පනවා තිබූ අන්තර්ජාල ප්‍රවේශ තහනම මාස තුනකට පමණ පසු නැවත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන උප ජනාධිපතිවරයා විසින් සිය නිල X (ට්විටර්) ගිණුමෙහි තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා මේ බව තහවුරු කර තිබේ. මැදපෙරදිග කලාපීය යුද්ධය උත්සන්න වීමත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස ඉකුත් පෙබරවාරි මස 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබුණි. සතුරන් විසින් සිදු කරනු ලබන ඔත්තු බැලීම් සහ එල්ල විය හැකි දරුණු සයිබර් ප්‍රහාර වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව ඉරාන රජය එකල ප්‍රකාශ කළේය.
ගෝලීය දත්ත වාර්තාවලට අනුව, ආරක්ෂක හේතූන් මත ඉරානය විසින් සිදු කරන ලද මෙම අන්තර්ජාල සේවා අත්හිටුවීම, ලොව පුරා මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික අන්තර්ජාල වසා දැමීම (Longest National Internet Shutdown) ලෙස ද ඉතිහාසයට එක්ව තිබේ. කෙසේ වෙතත් වත්මන් සාමකාමී ප්රවණතා සහ සාකච්ඡා මධ්‍යයේ සේවා යළි විවෘත කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.
















