විදුලි වේගයෙන් පැතිර යන ඉන්ධන මිල සංශෝධනයක් පිළිබඳ ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) දැඩිව අවධාරණය කරයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් දිවයිනේ සමහර ප්‍රදේශවල පිරවුම්හල් අසල අනවශ්‍ය පෝලිම් හටගෙන තිබුණ ද, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රටේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් පරිදි පවතින බව පෙන්වා දුන් ඒ මහතා, ඉදිරි දින කිහිපය තුළ ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් රැගත් දැවැන්ත නෞකා දෙකක් කොළඹ වරායට ළඟා වීමට නියමිත බව ද වැඩිදුරටත් තහවුරු කළේය. එබැවින් කටකතාවලට රැවටී කලබලකාරී ලෙස ඉන්ධන එකතු කිරීමෙන් වළකින ලෙස සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















