වෙසක් පුර පසළොස්වක පොහොය සහ සිය 30 වන සංවත්සරය නිමිත්තෙන් ගම්පොළ අම්බුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් මැයි 29, 30 සහ 31 යන දිනවල විශේෂ වෙසක් සැමරුම් මාලාවක් සහ දැවැන්ත වෙසක් කලාපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අම්බුලුවාව ඉතිහාසයේ ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම වෙසක් කලාපය, අම්බුලුවාව පිවිසුම් ද්වාරයේ සිට ප්‍රසිද්ධ අම්බුලුවාව සර්ව ආගමික කුළුණ දක්වා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් පුරා විහිදෙන පරිදි නිර්මාණය කර ඇත. මෙම කලාපය විචිත්‍රවත් වෙසක් පහන් කූඩු, තොරණ, අටපට්ටම් සහ විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත වීමට නියමිතය.
විශේෂයෙන්ම විදුලි බුබුළු 30,000කට අධික සංඛ්‍යාවකින් ආලෝකමත් කෙරෙන මනරම් වෙසක් තොරණක්, මහා පරිමාණ පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ සාම්ප්‍රදායික අටපට්ටම් පහන් කූඩු 500ක් පමණ මෙම පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරේ. මීට අමතරව භක්ති ගීත, විරිඳු, ජන නාට්‍ය සහ ළමා කලා ප්‍රදර්ශන ඇතුළු සංස්කෘතික වැඩසටහන් දින තුන පුරාම පැවැත්වෙන අතර, පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අයිස්ක්‍රීම් සහ කෝපි දන්සල් ඇතුළු දන්සල් කිහිපයක් ද ක්‍රියාත්මක වේ. ජනතාව අතර සාමය, සමගිය සහ බෞද්ධ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම මෙම වෙසක් කලාපයේ ප්‍රධාන අරමුණ බව සංවිධායක මණ්ඩලය පවසයි.
















