වත්මන් ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ගන්නා ලද මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කාලෝචිත නොවන බවත්, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුව පිළියම් සෙවීමෙන් පලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
කොළඹදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීම සඳහා මෙම සියලු පියවර මීට බොහෝ පෙර ගත යුතුව තිබූ බවයි. වාහන දහස් ගණනක් රට තුළට ගෙන්වීමට මුලින්ම ඉඩ ප්‍රස්ථා ලබා දී, දැන් රුපියල අවප්‍රමාණය වූ පසුව පොලී අනුපාත ඉහළ දැමීම සහ වාහන ණය ලබාදීමේ සීමා (LTV) පැනවීම විහිළුවක් බව ද හෙතෙම කියා සිටියේය. “කාර් 3,000ක් 4,000ක් රටට ගෙනත් අපේ රට ‘කෝට් එක ඇඳලා සාක්කුව හිස්’ (Sweet suit, empty pocket) වැනි තත්ත්වයකට පත් නොකළ යුතුයි” යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය. රටේ සමස්ත ජනතාවටම දරාගත හැකි පරිදි රුපියල ස්ථාවරව ශක්තිමත් කරන සැබෑ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බව ද ඔහු පැවසීය.
මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ කරුණානායක මහතා, සැබවින්ම ස්වාධීන මහ බැංකුවක් නම් මෙවැනි දරුණු මූල්‍ය තත්ත්වයන් කලින්ම කළමනාකරණය කළ යුතුව තිබූ බව ප්‍රකාශ කළේය. ලෝක ආර්ථික ප්‍රවණතා මත රුපියල අවප්‍රමාණය වන බවට බලධාරීන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, කලාපීය රටවල් වන තායිලන්තය හෝ ඉන්දුනීසියාව වැනි රටවල මුදල් ඒකක මෙලෙස දරුණු ලෙස අවප්‍රමාණය වී නොමැති බව පෙන්වා දුන්නේය. තවද, රත්රන් උකස් කිරීමේ සීමා ඉහළ මට්ටමකට ගෙන ඒම ඇතුළු ආර්ථික තීරණ ගැන ද සිය කනගාටුව පළ කළ ඒ මහතා, රජය මෙලෙස “හැංගි හොරා” කටයුතු කිරීම නිසා අවසානයේදී එහි සමස්ත පීඩාව විඳීමට සිදු වන්නේ රටේ සාමාන්‍ය ජනතාවට බව වැඩිදුරටත් සඳහන් කළේය.
















