ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානයේ නව සන්නද්ධ අංශ ප්‍රධානියා ඉලක්ක කරගෙන තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි. මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායල ප්‍රහාරයකින් පෙර සිටි හමාස් සන්නද්ධ අංශ ප්‍රධානියා මියයෑමෙන් අනතුරුව, නව ප්‍රධානියා ලෙස පත්කර සිටි මොහොමඩ් ඕඩේ (Mohammad Odeh) ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.ගාසා නගරයේ රිමාල් (Rimal) ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තිදෙනෙකු (කාන්තාවක් ද ඇතුළුව) මියගොස් ඇති අතර, 20කට අධික පිරිසක් තුවාල ලබා ඇත.අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසන්නේ මොහොමඩ් ඕඩේ යනු 2023 ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලය තුළ සිදු වූ ප්‍රහාරයේදී හමාස් බුද්ධි අංශය මෙහෙයවූ පුද්ගලයා බවයි. පසුගිය මැයි 15 දින ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉස් අල්-දින් අල්-හදාද් (Izz al-Din al-Haddad) වෙනුවට ඕඩේ පසුගිය සතියේ පත්කර තිබුණි.මෙම ප්‍රහාරයෙන් මොහොමඩ් ඕඩේ මියගිය බවට ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. හමාස් සංවිධානය ද මෙතෙක් මේ පිළිබඳව කිසිදු අදහසක් දක්වා නොමැත.
ගාසා තීරයේ තම හමුදා ක්‍රියාකාරකම් තීව්‍ර කරන අතරම, ලෙබනනය තුළ ද ඊශ්‍රායලය සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් සිටින බව වාර්තා වේ.
















