නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී තිබීම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















