වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටි බරපතළ ගණයේ අපරාධකරුවෙකුගෙන් මෙරට සිදුවූ මහා පරිමාණ කොල්ලකෑම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නිට්ටඹුල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහුව පසුගිය මැයි 21 වන දින වැලිවේරිය පොලිසිය විසින් කොටු කරගත් අතර, පසුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු වැලිවේරිය, කඩවත සහ නිට්ටඹුල යන පොලිස් වසම්වල සිදුවූ මහා පරිමාණ දේපළ කොල්ලකෑම් සහ සොරකම් රැසකට සෘජුවම සම්බන්ධ වී දිගු කලක් තිස්සේ පොලිසිය මඟහරිමින් සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු බවයි. මීට අමතරව මොහුට එරෙහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තු (Open Warrants) 03ක් පවා නිකුත් කර තිබූ අයෙකු බව ද පොලිසිය පවසයි.
සැකකරුගෙන් ලද තොරතුරු මත ඔහු විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ ගණනක් වටිනා යතුරුපැදි 03ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මෙම යතුරුපැදි කොල්ලකෑම් ජාලයේ සෙසු සගයන් සහ සොරකම් කරන ලද අනෙකුත් දේපළ සොයා වැලිවේරිය පොලිසිය විසින් පුළුල් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
















