ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයමින්, 2026 වර්ෂය අවසාන වන විට මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Workers’ Remittances) ප්‍රමාණය හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කෝශල වික්‍රමසිංහ මහතා නිල වශයෙන් සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 2026 වසරේ ගතවූ මුල් මාස හතර (ජනවාරි සිට අප්‍රේල් දක්වා) තුළ පමණක් විදේශයන්හි සේවය කරන ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක් වැනි අතිදැවැන්ත අගයක් ගන්නා බවයි. මෙය පසුගිය වසර කිහිපයේ වාර්තා සියල්ල මුළුමනින්ම අභිබවා යන ඓතිහාසික වර්ධනයක් ලෙස සැලකේ. නිල බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවීම සඳහා විදේශගත ශ්‍රමිකයන් තුළ ඇති වී තිබෙන විශ්වාසය සහ උනන්දුව මෙම ඩොලර් වර්ෂාවට ප්‍රධානතම හේතුව වී තිබේ.
මෙලෙස විදේශ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙරට විදේශ සංචිත (Foreign Reserves) ශක්තිමත් කිරීමටත්, රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමටත්, සමස්ත රටේ සාර්ව ආර්ථික ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට රැගෙන යාමටත් ඉමහත් පිටුවහලක් ලැබෙනු ඇතැයි ද ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
















