මාමඩුව පොලිස් වසමට අයත් මාමඩුව වැවේ මසුන් ඇල්ලීමට ගිය වයෝවෘද්ධ පුද්ගලයෙකු ඔරුවෙන් වැටී දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
2026 මැයි 26 වන දින උදෑසන කාලයේදී මාමඩුව වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට පොලිසියට ලදුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මාමඩුව ප්‍රදේශයේම පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකි.
මියගිය පුද්ගලයා සාමාන්‍ය පරිදි ඔරුවක් ආධාරයෙන් මාමඩුව වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, ධීවර කටයුතු නිමවා නැවත ගොඩබිම වෙත පැමිණීමේදී අනපේක්ෂිත ලෙස ඔරුවෙන් වැවට වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
















