ශ්‍රී ලංකාවේ ස්වාධීන වෘත්තිකයන් (Freelancers), ව්‍යවසායකයන් සහ ඩිජිටල් ක්ෂේත්රයේ නියුතු වූවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවකට ස්ථිර විසඳුම් ලබාදෙමින්, PayPal ගිණුම්වල ඇති මුදල් සෘජුවම මෙරට බැංකු ගිණුමකට ලබාගැනීමේ (Withdrawal) විශේෂ ඒකාබද්ධ සේවාවක් ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa) ඩිජිටල් බැංකු පද්ධතිය හරහා හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. ලංකාවේ බැංකුවක් විසින් PayPal සමඟ සෘජුවම මෙවැනි සේවාවක් ඒකාබද්ධ කළ පළමු අවස්ථාව මෙය වේ.
මේ සම්බන්ධයෙන් වූ නිල ගිවිසුම් අත්සන් කිරීම PayPal ආයතනයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී අමීර් වල්ලියානි (Amir Valliani) සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙම නවතම තාක්ෂණික සේවාව ඔස්සේ පරිශීලකයන්ට තම PayPal ගිණුම ‘Sampath Vishwa Mobile App’ එක සමඟ ආරක්ෂිතව සම්බන්ධ කර (Link), එහි ඇති උපයන මුදල් සෘජුවම සම්පත් බැංකු ගිණුම වෙත ශ්‍රී ලංකා රුපියල් (LKR) හෝ ඇමරිකානු ඩොලර් (USD) මඟින් ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව උදාවේ. එමෙන්ම මෙතෙක් PayPal ගිණුමක් නොමැති අයෙකුට වුවද මෙම පද්ධතිය හරහාම ඉතා පහසුවෙන් නව ගිණුමක් ආරම්භ කිරීමට ද අවස්ථාව සලසා ඇත.
මෙහිදී අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණයේ පවතින බාධාවන් හේතුවෙන් ලාංකීය දක්ෂයන්ට ගෝලීය ආර්ථිකයට දායක වීමට ඇති අවස්ථා අහිමි නොවිය යුතු බවයි. මෙමඟින් මෙරට ඩිජිටල් ව්‍යවසායකත්වය ශක්තිමත් වන අතරම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගලා ඒම ද වේගවත් වනු ඇතැයි හෙතෙම පැවසීය. PayPal උප සභාපති අමීර් වල්ලියානි මහතා ද කියා සිටියේ, ලංකාවේ ශ්රීඝ්රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට සහ දක්ෂ තරුණ ප්‍රජාවට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ විශ්වාසදායක ලෙස ගනුදෙනු කිරීමට මෙමඟින් මනා පිටුවහලක් ලැබෙනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය රෙගුලාසි සහ ඉහළම ආරක්ෂිත ක්‍රමවේදයන්ට (Compliance and Security) අනුකූලව දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව හඳුන්වා දුන් මෙම සේවාව, ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs), අන්තර්ජාල අලෙවිකරුවන්ට (Online Sellers) සහ විදේශීය සේවාවන් සපයන අපනයනකරුවන්ට තම ව්‍යාපාර දේශසීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යාමට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයකි.
















