අම්පාර පොලිස් වසමට අයත් ට්‍රැක්ටර් හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
2026 මැයි 26 වන දින රාත්‍රී කාලයේදී දීඝවාපිය දෙස සිට බොල්මංජල දෙසට ධාවනය වූ ටිපර් රථයක්, කාලිංග වටරවුම දෙස සිට අම්පාර මහා රෝහල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරේ පැවති දරුණුතාවය හේතුවෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ තවත් තරුණයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී, ඉන් එක් අයෙකු ද ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන දඩයන්තලාව සහ නවගම්පුර ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකි.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
















