හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියක් (Emergency Procurement) යටතේ මෙරටට ගෙන්වන ලද, ගුණාත්මකභාවය පිළිබඳ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති තුන්වන ගල්අඟුරු නැව් තොගය සම්බන්ධයෙන් ගත හැකි නීතිමය සහ තාක්ෂණික පියවර පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ගල්අඟුරු තොගයේ තාප උත්පාදන ධාරිතාවය (Thermal Value) 5,995 ත් 6,080 ත් අතර මට්ටමක පවතින බැවින්, නියමිත තාප ප්‍රමාණය උත්පාදනය කිරීමට එය සමත් බව රසායනාගාර වාර්තා මඟින් තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත්, ‘Bureau Veritas’ නැමැති ජාත්‍යන්තර පරීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද විද්‍යාත්මක පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ගල්අඟුරු තොගයේ අඩංගු අළු ප්‍රතිශතය (Ash Content) මෙරටට අනුමත උපරිම සීමාවට වඩා 0.6%කින් ඉහළ මට්ටමක පවතින බවයි.
මෙම ඉහළ අළු ප්‍රතිශතය පදනම් කර ගනිමින් අදාළ ගල්අඟුරු නැව් තොගය නීත්‍යානුකූලව ප්‍රතික්ෂේප කළ හැකිද යන්න පිළිබඳව බලධාරීන් මේ වන විට දැඩි ලෙස පරික්ෂා කරමින් සිටී. එහෙත්, මෙම නැව් තොගය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළහොත් රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට බාධා මතු විය හැකි බව ද අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. ගල්අඟුරු සැපයුමේ යම් හිඟයක් ඇති වුවහොත්, විදුලිය නිපදවීම සඳහා අධික පිරිවැයක් වැයවන විකල්ප තාප විදුලි බලාගාර (Alternative Thermal Power) කෙරෙහි ශ්‍රී ලංකාවට නැවතත් යැපීමට සිදුවනු ඇත.
මීට අමතරව, එළඹෙන ජුනි මාසය මැද භාගයේදී නිරිතදිග මෝසම් කාලගුණය (Monsoon Season) ආරම්භ වීමට නියමිත බැවින්, ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මුහුද රළු වීම නිසා ගල්අඟුරු ගොඩබෑම් කටයුතු (Unloading Operations) සිදු කිරීමට නොහැකි වේ. මේ නිසා නව ගල්අඟුරු නැව් තොගයක් ඇණවුම් කර ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ද නොමැත.
















