දිවයින පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ (Midwives) සේවා පහසුකම් නැංවීම වෙනුවෙන් ඉදිරියේදී ඔවුන් වෙත යතුරුපැදි ලබාදීමට පියවර ගන්නා බවත්, ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ට හිමිවිය යුතු වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කරන ලද නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් පිරිනැමීමේ අභිමානවත් අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සන්නිවේදන හා ගමනාගමන අපහසුතා මධ්‍යයේ වුවද මෙරට ග්‍රාමීය මට්ටමින් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉටුකරන සේවය බෙහෙවින් අගය කළේය. ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටුකිරීම සඳහා මෙම යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ගේ වෘත්තීය අභිමානය වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභ නියමිත පරිදි ලබාදීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















