සැකකටයුතු ලෙස එබෝලා (Ebola) වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් (Bengaluru) නුවරදී හදිසි නිරෝධායනයට ලක්කර සිටි උගන්ඩා ජාතික කාන්තාවට අදාළ වෛරසය ආසාදනය වී නොමැති බව රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (27) නිල ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළ ද, ඇයව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදාහරින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එබෝලා වෛරසය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ඊට මුහුණ දීම සඳහා ඉන්දියාවේ සූදානම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා (Jagat Prakash Nadda) මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමාලෝචන රැස්වීමක් පවත්වා පැය 24ක් ගතවීමට මත්තෙන් මෙම සහනදායී පුවත වාර්තා වී ඇත. මෙම 28 හැවිරිදි උගන්ඩා කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ නම්, එය 2014 වසරෙන් පසු දකුණු ආසියාතික කලාපයෙන් වාර්තා වන පළමු එබෝලා රෝගී අවස්ථාව බවට පත්වීමට ඉඩ තිබුණි.
ඇයව ඇතුළත් කර තිබූ රෝහලේ වෛද්‍ය අධිකාරී ආචාර්ය අනිල් කුමාර් බනගාර් (Dr. Anil Kumar Banagar) මහතා සඳහන් කළේ, ඇයගෙන් බාහිර රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළ ද ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායනය කළ බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඇයට සුළු සිරුරේ වේදනාවක් (Body Ache) පැවති බවයි. උගන්ඩාවේ සිට ඉන්දියාවේ අහමදාබාද් නුවර හරහා ඇය බැංගලෝර් නගරය වෙත පැමිණ තිබුණි.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් ඉන්දීය රජය වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් සහ දේශසීමා ඇතුළුවීමේ ස්ථානවල දැඩි සෞඛ්‍ය පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු (Screening and Surveillance) ආරම්භ කර ඇත. තවද, අත්‍යවශ්‍ය කරුණකට හැර කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන අප්‍රිකානු රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ද ඉන්දීය රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
















