ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එරට රජයෙන් පෙර නොවූ විරූ ඉහළම රාජ්‍ය ගෞරවයක් පුද කර තිබේ.
අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (27) උදෑසන අති උත්කර්ෂවත් මාවෝරි (Maori) ගෝත්‍රික සාම්ප්‍රදායික “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමේ චාරිත්‍රය පවත්වනු ලැබීය. නවසීලන්ත සංස්කෘතිය තුළ විදේශීය රාජ්‍ය නායකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙත පිරිනමනු ලබන ඉහළම සහ ගෞරවනීයම පිළිගැනීමේ උත්සවය ලෙස මෙම චාරිත්‍රය සැලකේ.
මෙම අභිමානවත් අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය නිල ට්විටර් (X) ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, නවසීලන්තයේ නිල සංචාරය මෙවැනි අතිශය ගෞරවනීය මෙන්ම සංස්කෘතිකමය වටිනාකමකින් යුත් පිළිගැනීමකින් ආරම්භ කිරීමට ලැබීම තමන්ට මෙන්ම ශ්‍රී ලංකා මාතාවට ද විශාල ගෞරවයක් බවයි.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ ගනුදෙනු, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















