මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (RMV/DMT) මාස දෙකක පමණ කාලයක සිට ස්ථාවර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එහි එදිනෙදා පරිපාලන සහ සේවා සැපයීමේ රාජකාරී දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු කොමසාරිස් ජනරාල්වරයා නීතිමය හේතුවක් මත (අත්අඩංගුවට පත්වීම නිසා) පසුගිය මාර්තු මාසය අවසානයේදී සේවයෙන් ඉවත් වීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති අතර, මේ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව, මේ වන විට පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට ඇති වාහන අංක තහඩු සංඛ්‍යාව ලක්ෂ 10ක් (මිලියනයක්) පමණ වන අතර, වසර දෙකක පමණ කාලයක සිට ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර (Driving License) සංඛ්‍යාව ලක්ෂ 3ක් පමණ වේ. මුදල් ගෙවා වසර දෙකක් ගතවී තිබුණ ද, ස්ථාවර ප්‍රධානියෙකු නොමැති වීම නිසා තීරණ ගැනීම ප්‍රමාද වීමෙන් මෙම මුද්‍රණ කටයුතු අතිශය මන්දගාමී වී තිබුණි.
මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් තාරක දේශප්‍රිය මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, නව කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍යාංශය මඟින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ඇති බවයි. පවතින ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, දැනට පවතින ‘ඕෆ්ලයින්’ (Offline) දිස්ත්‍රික් කාර්යාල 14ම කඩිනමින් ‘ඔන්ලයින්’ (Online) පද්ධතියට ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. එමඟින් තැපෑලෙන් ලේඛන ඒම නිසා සිදුවන සති කිහිපයක ප්‍රමාදය මුළුමනින්ම නැතිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ ගැටලුව සඳහා මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ (NYSC) අමතර ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත්, ඒ අනුව මෙතෙක් ගොඩගැසී තිබූ හිඟයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර තැපෑලට යොමු කර ඇති බවත් අතිරේක කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඉදිරි මාස දෙක ඇතුළත නව කාඩ්පත් මිලියනයක් (ලක්ෂ 10ක්) ලැබීමට නියමිත බැවින් බලපත්‍ර හිඟය සම්පූර්ණයෙන්ම සමනය කරගත හැකි බව ඔහු සඳහන් කළේය.
















