ලොව විශාලතම අධ්‍යාපනික තාක්ෂණ (EdTech) සමාගමක් වන ඉන්දියාවේ ‘Byju’s’ හි නිර්මාතෘ බයිජු රවීන්ද්‍රන් (Byju Raveendran) හට සිංගප්පූරු අධිකරණයක් විසින් මාස 6ක සිරදඬුවමක් නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීම (Contempt of Court) සහ ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීමට අදාළව ලබාදී තිබූ නියෝග දිගින් දිගටම උල්ලංඝනය කිරීම හේතුවෙන් අද (27) දින මෙම තීන්දුව ලබාදී ඇත.
මෙම නඩුකරය ගොනුකර තිබුණේ කටාර් රාජ්‍යයේ ස්වෛරී අරමුදලක් වන කටාර් ආයෝජන අධිකාරියට (Qatar Investment Authority) අනුබද්ධ ‘Qatar Holdings LLC’ ආයතනය විසිනි. සිංගප්පූරු ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය (SIAC) හරහා ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 235ක (රුපියල් බිලියන ගණනක) මූල්‍ය දඬුවමක් බලාත්මක කරගැනීමේ උත්සාහයක් ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.
අධිකරණ වාර්තාවලට අනුව, 2024 අප්‍රේල් මාසයේ සිට ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීම සහ ඒවා අත්හිටුවීම (Freezing of Assets) සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නියෝග රැසක් බයිජු රවීන්ද්‍රන් විසින් පැහැර හැර තිබේ. සිරදඬුවමට අමතරව, වහාම බලධාරීන්ට භාරවන ලෙසත්, නඩු ගාස්තු ලෙස සිංගප්පූරු ඩොලර් 90,000ක් ගෙවන ලෙසත්, ඔහුගේ ව්‍යාපාරික ව්‍යුහයට අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
කෙසේ වෙතත්, මෙම තීන්දුව නිකුත් වීමත් සමඟ ඩුබායි හි සිට නිවේදනයක් නිකුත් කර ඇති බයිජු රවීන්ද්‍රන් තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රකාශ කර සිටියි. ආයෝජකයන් සමඟ පවතින ගැටලුවලට අවසන් විසඳුම් (Settlement) සෙවීමේ අතිශය සංවේදී වටයක තමන් පසුවන බවත්, මෙම අවස්ථාවේදී මෙවැනි නීතිමය තීන්දු ලබාදීම තමන් වෙත අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමේ උපක්‍රමයක් (Pressure Tactic) බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.














