සෑම වසරකම මැයි මාසයේදී උදාවන ස්වභාවධර්මයේ අපූර්ව නිමැවුමක් සනිටුහන් කරමින්, මේ දිනවල බගවන්තලාව ප්‍රදේශයේ නිවාස රැසක කඩුපුල් මල් (Kadupul Flowers) ඉතා අලංකාර ලෙස පිපී තිබෙන අයුරු වාර්තා වේ.
රාත්‍රී කාලයේදී පමණක් විකසිත වී, දැඩි සුවඳක් විහිදුවන මෙම මල්, පසුදා අලුයම උදාවීමත් සමඟම ක්‍රමයෙන් පරවී බිමට හැලෙන ස්වභාවයෙන් යුක්තය. බගවන්තලාව ප්‍රදේශයේ නිවාස කිහිපයක එකවර කඩුපුල් මල් විශාල සංඛ්‍යාවක් පිපී ඇති අතර, රැයට විකසිත වන මෙම අපූර්ව සුන්දරත්වය දැකබලා ගැනීම සඳහා රාත්‍රී කාලයේදී ප්‍රදේශවාසීන් මෙන්ම දුරබැහැර ජනතාව ද විශාල වශයෙන් එම නිවාස වෙත පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.
උද්භිද විද්‍යාත්මකව Epiphyllum\ oxypetalum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කඩුපුල් මල, ජාත්‍යන්තරයේදී “රාත්‍රියේ රැජින” (Queen of the Night) සහ “ඕලන්ද මිනිසාගේ පයිප්පය” (Dutchman’s Pipe Cactus) යන අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. පතොක් කුලයට (Cactaceae) අයත් ශාකයක් වුව ද, සාමාන්‍ය පතොක් ශාකවල දක්නට ලැබෙන කටු සහිත රළු ස්වභාවය මෙහි බහුලව දක්නට නොලැබේ. ලෝකයේ පවතින මිල කළ නොහැකි සහ අතිශය දුර්ලභ මල් වර්ගයක් ලෙස ද කඩුපුල් සලකනු ලබයි.
ලංකාවේ “කඩුපුල්” ලෙස හැඳින්වුව ද අසල්වැසි ඉන්දියාවේදී මෙම මල හඳුන්වන්නේ “බ්‍රහ්ම කමලම්” (Brahma Kamalam) යන නමිනි. හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මහා බ්‍රහ්මයා විසින් මවා වදාළ මෙම මල පිපෙන වටිනා මොහොතේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින ඕනෑම ප්‍රාර්ථනාවක් ඉටුවන බවයි.
එලෙසම, චීන ජන සංස්කෘතිය තුළ ඉතා කෙටි කලකින් සමාජයේ අතිශය ජනප්‍රියත්වයට පත්වී, ක්ෂණිකවම එම කීර්තිය ගිලිහී යන සුවිශේෂී පුද්ගලයන් උපමා කිරීම සඳහා කඩුපුල් මල යොදාගනු ලබයි. ජපන් වැසියන් ද මෙම මලට ඉහළ ගෞරවයක් දක්වන අතර, ඔවුන් කඩුපුල් මල ආදරයෙන් හඳුන්වන්නේ “සඳ කුමරිය” (Gekka Bijin – Beauty under the Moon) යන නමිනි. බගවන්තලාවට වැස්සත් සමඟ උදාවී ඇති සිතල දේශගුණය හේතුවෙන් මෙවර කඩුපුල් මල් වසන්තය වඩාත් සශ්‍රීක වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
















