දශක ගණනාවක් පුරා බලධාරීන්ගෙන් සැඟවී සිටි ජර්මානු අන්තවාදී ක්‍රියාකාරිනියක වන ඩැනියෙලා ක්ලෙට්ටෙ (Daniela Klette) හට වසර 13ක සිරදඬුවමක් නියම කර තිබේ. ඇය මෙම දඬුවමට ලක්ව ඇත්තේ තමන් සැඟවී සිටි කාලසීමාව තුළ සිදු කළ සන්නද්ධ කොල්ලකෑම් මාලාවක් සම්බන්ධයෙනි.
67 හැවිරිදි ක්ලෙට්ටෙ, 1970 සහ 1980 දශකවලදී ජර්මනියේ දේශපාලන ඝාතන, බෝම්බ ප්‍රහාර සහ පැහැරගැනීම් සිදු කළ ‘රෙඩ් ආමි ෆැක්ෂන්’ (RAF) හෙවත් ‘බාඩර්-මයින්හෝෆ් කල්ලියේ’ හිටපු සාමාජිකාවකි. 1998 වසරේදී මෙම කල්ලිය විසුරුවා හැරීමෙන් පසුව, තමන්ගේ සැඟවුණු ජීවිතය පවත්වාගෙන යාම සඳහා ඇය සහ ඇයගේ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ලකෑම් සිදු කර ඇත.
වසර 30කට අධික කාලයක් බලධාරීන්ගෙන් පලාගොස් සිටි ඇයව 2024 පෙබරවාරි මාසයේදී බර්ලින් නුවර පිහිටි ඇයගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.
















