දකුණු කොරියානු රජය සමඟ පවත්වනු ලබන ඍජු සාකච්ඡා හරහා ශ්‍රී ලාංකිකයන් සඳහා වන රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් පිරිසක් අමතමිනි.
මෙම වැඩසටහනේ ප්‍රධාන කරුණු වන්නේ 2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කොරියානු නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා 1,067ක් ශ්‍රී ලාංකිකයින්ට හිමි වී තිබීමයි. ඉන් ශ්‍රමිකයින් 68 දෙනෙකු වෙත අවසන් දැනුවත් කිරීම් සහ ගුවන් ප්‍රවේශපත් ප්‍රදානය කිරීම පසුගියදා (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.
දකුණු කොරියාවේ රැකියා අවසන් කර නැවත ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට, නැවත කොරියාව බලා යාමට හෝ මෙරට තුළ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රජයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍යවරයා සහතික විය. වර්තමාන ගෝලීය අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් විශාල දායකත්වයක් ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














