ආර්මේනියාව යුරෝපා සංගමය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එහි සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කරන්නේ නම්, රුසියාව විසින් එරටට සපයන ලාභදායී බොරතෙල්, ස්වාභාවික වායු සහ අමු දියමන්ති සැපයුම අත්හිටුවීමට හෝ අවසන් කිරීමට සිදුවන බව රුසියාව අනතුරු අඟවා තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා මහත්මිය RIA පුවත් ඒජන්සිය වෙත සඳහන් කර ඇත්තේ, මෙම තීරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බවයි. ජූනි 07 වන දින පැවැත්වීමට නියමිත ආර්මේනියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම අනතුරු ඇඟවීම සිදු කිරීම විශේෂත්වයකි. වත්මන් අගමැති නිකොල් පාෂින්යන්ගේ පක්ෂය බටහිර රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීම රුසියාවේ අප්‍රසාදයට හේතු වී ඇත.
මිලියන 3ක පමණ ජනගහනයක් වෙසෙන, ගොඩබිමෙන් වටවූ ආර්මේනියාව සාම්ප්‍රදායිකව රුසියාව සමඟ සමීප සබඳතා පවත්වන අතර, රුසියාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික සංගමයක සාමාජිකයෙකු ද වේ. එරට රුසියානු හමුදා කඳවුරු පවතින අතර, ආර්මේනියාවේ ස්වාභාවික වායු අවශ්‍යතාවයෙන් 82%ක්ම සපුරා ගන්නේ රුසියාව මගිනි.














