පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, දීර්ඝ කාලයක සිට පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව පීඩා විඳි පහළ මැද්දෙපොළ ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙනුවෙන් නව පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රුපියල් මිලියන 100ක දැවැන්ත පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 11කට අයත් පවුල් 1,000කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව උදාවේ. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම වියළි කාලගුණික තත්ත්වයන් පවතින කාල වකවානුවලදී මෙම කලාපයේ ජනතාව මුහුණ දෙන දරුණු ජල අර්බුදයට මෙමඟින් ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවයි.
මෙම මහෝත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, පන්නල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජගත් කුමාර, කොට්ඨාස මන්ත්‍රී ජයසිරි බොතේජූ, පර්යේෂණ නිලධාරි ඉසංක දසනායක යන මහත්වරුන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
















