ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ඒ, ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු හා අග්නිදිග ආසියා සහ ඕෂනියා කලාපීය විදේශ ආර්ථික ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතරය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනය උදෙසා ජර්මානු රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා–ජර්මන් ව්‍යාපාරික සමුළුව 2026’ (Sri Lanka–German Business Forum 2026) හි වැදගත්කම පියර්ලින්ග්ස් මහතා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව සඳහා දෙරටේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින් සහ විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික විශේෂඥයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ශවකරුවන් 350ක් පමණ සහභාගී වීමට නියමිත අතර, එය දෙරටේ ආර්ථික සබඳතා ගැඹුරු කරන වැදගත් වේදිකාවක් වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.
තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුව:
ශ්‍රී ලංකාවේ නැගී එන අපනයන ක්ෂේත්‍රයක් වන තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ තාක්ෂණික හා නවෝත්පාදන හවුල්කාරිත්වයන් ශක්තිමත් කරගැනීමට ද මෙහිදී දෙපාර්ශවයේම එකඟතාව පළවිය. මීට අමතරව, ලාංකීය ශ්‍රම බලකායේ කුසලතා වර්ධනය උදෙසා “සිලෝන් ජර්මන් කාර්මික පුහුණු ආයතනය” (CGTTI – ජර්මන් ටෙක්) මඟින් ලබාදෙන සුවිශේෂී දායකත්වය අගය කළ නිලධාරීහු, තාක්ෂණික අධ්‍යාපනය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (H.E. Dr. Felix Neumann) මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
















