එකතු කළ අගය මත බදු (VAT) රජයට නොගෙවා පැහැර හැරීම, නිසි ලියාපදිංචියකින් තොරව බදු ඉන්වොයිසි නිකුත් කිරීම සහ ව්‍යාජ ටින් (TIN) අංකයක් භාවිත කරමින් වංචා කිරීම යන චෝදනාවලට වරද පිළිගත් පල්ලෙවෙල, උඩුබද්දාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් තිස්දහසක (Rs. 30,000) දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (27) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ “ජනිදු කන්ට්‍රක්ෂන්ස්” ආයතනයේ හිමිකරුවකු වන එන්. මුතුකුඩ නැමැති වගඋත්තරකරුටය. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මොහුට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබුණි. වගඋත්තරකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වංචාව හෙළි කරගැනීමෙන් පසු රජයට පැහැර හැර තිබූ රුපියල් මිලියන 37ක (රු. 37,000,000) සමස්ත හිඟ වැට් බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර තිබීම යන කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එක් චෝදනාවකට රුපියල් දසදහස බැගින් මෙම දඩය නියම කළේය.
වසරකට වැඩි කාලයක් ව්‍යාජ ඉන්වොයිසි:
නඩු වාර්තාවලට අනුව වගඋත්තරකරු විසින් 2024 සැප්තැම්බර් 20 වැනිදා සිට 2025 සැප්තැම්බර් 08 වැනිදා දක්වා වූ කාලය තුළ වැට් බදු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින්, ලියාපදිංචි තැනැත්තෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ටින් (TIN) අංකයක් යොදා පාරිභෝගිකයන් වෙත බදු ඉන්වොයිසි නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, විමර්ශන අරඹන විට වගඋත්තරකරු වැට් බදු පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිව ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව ප්‍රකාශ කළ ද, පසුව ඔහු චෝදනාවලට වරද පිළිගෙන හිඟ බදු මුදල් සියල්ල පියවා ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දඩ මුදල් ගෙවීමෙන් පසු වගඋත්තරකරු මුදාහැරීමට නියෝග කළේය.
















