හාලිඇල සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකිනෙකට යා කෙරෙන කෙටිම මාර්ගය මෙන්ම වර්තමානය වන විට අතිශය අනාරක්ෂිත තත්ත්වයක පවතින ඓතිහාසික “හලාබ පාලම” කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා (24) සිදු කෙරිණි.
වසර 100කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන හලාබ පාලම, ශක්තිමත් ලෝහ සැකිල්ලක් මත ලෑලි තට්ටු යොදා නිර්මාණය කරන ලද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇති සුවිශේෂී ස්ථානයකි. දීර්ඝ කාලයක සිට නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මෙහි ලෑලි දිරාපත් වී ව්‍යුහය බෙහෙවින් දුර්වල වී ඇතත්, ප්‍රදේශවාසීහු තවමත් දැඩි ජීවිත අවදානමක් ගනිමින් දෛනික ගමනාගමන කටයුතු සඳහා මෙම පාලම භාවිත කරති. මෙම අනාරක්ෂිත තත්ත්වය මඟහරවා පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මීට අමතරව, පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව හදිසි ප්‍රතිසංස්කරණය කළ යුතු ව්‍යාපෘතියක් ලෙස ද මෙය සලකා, අවශ්‍ය ඉතිරි අරමුදල් ද උපයෝගී කරගනිමින් පාලම අංගසම්පූර්ණ ලෙස සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.
මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම සහ හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන යන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















