මහජන චීන සමූහාණ්ඩුවේ පැවැත්වෙන විශේෂ ද්විපාර්ශ්වික වැඩමුළුවකට සහභාගී වීම සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පෙරේදා (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් චීනය බලා පිටත්ව ගියහ.
මෙම නිල නියෝජිත පිරිසට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනෙකු (20) සහ පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු (04) ඇතුළත් වෙති. මැයි 25 සිට ජූනි 05 දක්වා බීජිං නුවර සහ ගුවැන්ඩොං පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම විශේෂ පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගීතා මධ්‍යස්ථානය විසිනි. පෙරේදා චීනයට ළඟා වූ මෙම පිරිස ඊයේ (26) බීජිං හි ෆෙන්හුයි (Fenghui Centre) මධ්‍යස්ථානයේදී පැවැති වැඩමුළුවේ නිල සමාරම්භක අවස්ථාවට ද එක්වූහ.
මෙම සංචාරයට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මෙන්ම මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, රෝහණ බණ්ඩාර, ඩබ්.එච්.එම්. ධර්මසේන, උපුල් කිත්සිරි, තාහීර් මරික්කාර්, චන්දන තෙන්නකෝන්, ධර්මප්‍රිය දිසානායක, සුසන්ත කුමාර නවරත්න, නන්දන පද්මකුමාර, ස්ටෙෆනි ප්‍රනාන්දු, වෛද්‍ය ශ්‍රී භවානන්දරාජා, ඊ.එම්. බස්නායක, මොහොමඩ් ෂරීෆ් ෆස්මින්, වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, දිනේෂ් හේමන්ත පෙරේරා, සමන්ත රණසිංහ, අබ්දුල් වසීත් සහ රොෂාන් අක්මීමන යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති. මීට අමතරව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (මුදල්) ගමගේ සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පරිවර්තක ලාල් කුමාරසිරි සහ ප්‍රධාන සන්ධාන නිලධාරිනී අමා විතානගේ යන නිලධාරීහු ද මෙම දූත පිරිසට අයත් වෙති.
















