කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ ඉතා දුර්ලභ ගණයේ මාරාන්තික ඉබෝලා වෛරස් ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්, උගන්ඩා රජය විසින් කොංගෝ රාජ්‍යය සමඟ පවතින සියලුම දේශසීමා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, කොංගෝ දේශසීමා හරහා පැමිණෙන රෝගීන් හේතුවෙන් උගන්ඩාවේ සෞඛ්‍ය සේවකයන් සහ එරට වැසියන් දරුණු ලෙස මෙම වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් මතුව ඇත. මෙම දැවැන්ත සෞඛ්‍ය තර්ජනය සැලකිල්ලට ගනිමින් උගන්ඩා උප ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ ඉබෝලා මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම හදිසි ආරක්ෂිත තීරණය ගෙන තිබේ.
මේ වන විට කොංගෝවේ ව්‍යාප්ත වන “බුන්ඩිබුගියෝ” (Bundibugyo) නමැති මෙම දුර්ලභ ඉබෝලා ප්‍රභේදය සඳහා මෙතෙක් ලොව පිළිගත් අනුමත එන්නතක් හෝ නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. මෙම දරුණු වෛරස් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විටත් පුද්ගලයන් 220කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් තහවුරු කරයි.
















