පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් කොටසක් ‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය සඳහා යෙදවීමට සිදුවීම නිසා මේ වසරේදී මැතිවරණය පැවැත්විය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CaFFE) විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
‘කැෆේ’ සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, කල් ඉකුත් වී ඇති පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම වත්මන් රජය බලයට පත්වීම සඳහා ජනතාවට ලබා දුන් ප්‍රධානතම පොරොන්දුවක් බවයි. තමන් ජනතාවාදී ආණ්ඩුවක් යැයි පවසමින් බලයට පැමිණ, අවසානයේ විවිධ හේතු දක්වමින් ජනතාව ඉදිරියේ දුන් මූලික ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු මෙලෙස උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
2023 රනිල්ගේ පාලනය සහ වත්මන් ආණ්ඩුවේ හැසිරීම:
පසුගිය 2023 වසරේදී එවක පැවති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය විසින් මූල්‍ය අර්බුද සිනාරියෝවක් මතු කරමින් පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේදී, වර්තමාන රජයේ නියෝජිතයින් විපක්ෂයේ සිටිමින් එය දැඩි ලෙස විවේචනය කළ ආකාරය ‘කැෆේ’ සංවිධානය සිය නිවේදනයෙන් සිහිපත් කර ඇත. එදා මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව පැවසූ වත්මන් ආණ්ඩුවේ බලධාරීන්, අද බලයට පත් වූ පසු ස්වභාවික ආපදාවන් මුවාවට ගනිමින් සිදුකරන්නේ ද එදා සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවම බව ‘කැෆේ’ සංවිධානය වැඩිදුරටත් චෝදනා කර සිටියි.
















