ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික හමුවක් ඊයේ (26) පස්වරුවේ පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම නිල හමුව සඳහා වියට්නාම උප තානාපති ලී වැන් හොන්ග් මහතා ද එක්ව සිටියේය.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම පසුගියදා වියට්නාම ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා ශ්‍රී ලංකාවේ සිදුකරන ලද නිල සංචාරයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය. එම සංචාරය පිළිබඳව ජනාධිපති ටෝ ලාම් මහතා ඉහළ ප්‍රසාදයක් පළ කළ බවත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් පුළුල් ‘විස්තීර්ණ හවුල්කාරීත්ව’ (Comprehensive Partnership) මට්ටමක් දක්වා වර්ධනය කරගැනීමට හැකිවූ බවත් තානාපතිවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
සෘජු ගුවන් ගමන් සහ පොහොර ආනයනය:
දෙරටේ ආර්ථික හා තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා දැනට සිදුකෙරෙන වැඩපිළිවෙළ, දෙරට අතර සෘජු ගුවන් ගමන් (Direct Flights) ආරම්භ කිරීමේ හැකියාව මෙන්ම විද්‍යා, තාක්ෂණ සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම හමුව සනිටුහන් කරමින් වියට්නාම ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත විශේෂ ඇගයීමක් ලෙස එවන ලද නිල සමරු සිහිවටනය පිළිගැන්වීම ද තානාපතිවරිය විසින් මෙහිදී සිදුකරන ලදී.
















