ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියැලී සිටින සමස්ත ගොවි ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න සහ දැඩි ආර්ථික ගැටලුවලට රජය වහාම ස්ථාවර විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරමින්, “සමස්ත ගොවි හඬ” ඒකාබද්ධ ගොවි සංවිධානවල නියෝජිතයෝ අද (27) මහනුවරට රැස්වී රජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළහ.
මහනුවර රෝයල් මෝල් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම විශේෂ ඒකාබද්ධ සාකච්ඡාව සංවිධානය කර තිබුණේ “ගොවි ජන පවුර” සංවිධානයේ කැඳවුම්කරු විසිනි. මෙහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයන් කියා සිටියේ, ගොවි ජනතාව පෙළන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත්, නුදුරේදීම දිවයින පුරා සිටින සමස්ත ගොවි ජනතාව සිය ට්‍රැක්ටර්, ලොරි රථ සහ ගොයම් කපන යන්ත්‍ර සූත්‍ර ද රැගෙන කොළඹ අගනුවරට පැමිණ, අදාළ අමාත්‍යාංශ වටලා දැවැන්තම අරගලයක් දියත් කිරීමට පසුබට නොවන බවයි.
කෘෂිකර්ම ඇමතිට සහ රජයට දැඩි විවේචන:
රැස්වීම අමතමින් “දේශය ගොවි හඬ” ව්‍යාපාරයේ සභාපති තරිඳු රත්නායක මහතා වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. තමන්ගේම පන්තිය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්වූ වත්මන් අමාත්‍යවරයා අද වන විට ගොවියා පාරට ඇද දමන තත්ත්වයට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය. “ලොකු ලූණු, අර්තාපල්, සහල් සහ බඩඉරිඟු වැනි දේශීයව වගා කළ හැකි භෝගත් දිගින් දිගටම රටින් ආනයනය කරනවා නම්, මේ රටට වෙළඳ ඇමතිවරු සහ කෘෂිකර්ම ඇමතිවරු කුමකටද?” යනුවෙන් ද ඔහු ප්‍රශ්න කර සිටියේය.
මෙම තීරණාත්මක ඒකාබද්ධ සාකච්ඡාව සහ මාධ්‍ය හමුව සඳහා අම්පාර, මොනරාගල, අනුරාධපුර සහ නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් ගොවි සංවිධාන නායකයෝ සහ නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
















