ජාතික ළමාරක්ෂක අධිකාරියේ (NCPA) විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් කිරීම උදෙසා, එම ආයතනයේ දැනට පවතින සේවක පුරප්පාඩු සපුරාලීමට සහ අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගැනීමට වහාම මැදිහත් වන්නැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
අමාත්‍යවරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදී පෙරේදා (25) පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ උසස් නිලධාරීන් සමඟ පැවැති මෙම හමුවේදී ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වත්මන් කාලීන සිදුවීම් මෙන්ම එම ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලියට වහාම මැදිහත් වන ලෙස අමාත්‍යවරිය විසින් අමාත්‍යාංශ ලේකම්වරියට සහ අතිරේක ලේකම් (පාලන) වෙත දැඩිව උපදෙස් දෙනු ලැබුවාය.
ළමාරක්ෂක ක්‍රියාවලිය තුළ ප්‍රධාන නියාමන පාර්ශ්වය ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය සතු වගකීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරි පනත ක්‍රියාත්මක කිරීමේදී එම ආයතනයේ ස්වාධීනත්වය උපරිමයෙන් පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත්, සෙසු රාජ්‍ය සහ සිවිල් ආයතන සමඟ පවත්වන සබඳතා වඩාත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී තීරණාත්මක ලෙස සාකච්ඡා වී තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ සහ නියෝජ්‍ය සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















