ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවන තරගයෙන් (Eliminator) සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. නව චන්දිගාර්හිදී පැවැත්වුණු මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්තාන් කණ්ඩායම තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් වී තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එහිදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ වයිභව් සූර්යවංශි, සන්රයිසර්ස් පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 29ක් තුළ හයේ පහර 12ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට නොහැකි වූ අතර, ඔවුන්ගේ සියලුම පිතිකරුවන් පන්දුවාර 19.2ක් තුළ ලකුණු 196කට සීමා කිරීමට රාජස්ථාන් පන්දු යවන්නන් සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟින් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ‘Qualifier-2’ තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර, එම තරගය මැයි 29 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවැත්වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම, දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම සමඟින් අහ්මදාබාද්හිදී මෙවර ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය.














